
2021 - 2023 කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල නිලවරණය "නිල මැදුර" පරිශ්‍රයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ ( 2021 ජූලි 27 ) පැවැත්වුණා.
ඒ දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩල ගරු සභාපති ස්වාමීන්වහන්සේලා සහ ගරු ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති සහ අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධාන ගිහි සහභාගීත්වයෙන්.
එහී දී ව්‍යවස්ථානුකූල ව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල පත් කර ගැනීමේ ක්‍රියාවලිය හා ඒ සඳහා ජන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලබන පාර්ශ්වයන් සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාමය පසුබිම පිළිබඳ ව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ගෞරවනීය මහා සංඝරත්නය ප්රමුඛ සභාව දැනුවත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය සඳහා සභාවේ නාම යෝජනා විමසන ලද අවස්ථාවේ දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය සූරියගොඩ සිරිධම්ම ස්වාමීන්වහන්සේගේ නම් ස්වාමීන්වහන්සේලාගේ යෝජනා ස්ථිරත්වයෙන් සභාවට ඉදිරිපත් කෙරුණා.
එබැවින් ගරු සභාපති ස්වාමීන්වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා ජන්දයකට යා යුතු බවට තීරණය වූ බැවින්, ජන්දය ලබාදීමට සුදුසුකම් ඇති ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල සභාපති ස්වාමීන්වහන්සේලා සහ ලේඛකාධිකාරි ස්වාමීන්වහන්සේලා හතළිස් නමට ඒ සඳහා අවස්ථාව ලබා දුන් අතර, එම අවස්ථාව වනවිට නිලවරණයට සහභාගී වී සභාවේ වැඩසිටි ස්වාමීන්වහන්සේලා තිස්හත් නමක් ඒ සඳහා ජන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
එම ජන්ද විමසීම අනුව ප්‍රකාශිත ජන්ද අතුරින් වලංගු ජන්ද තිහක් ලබා ගනීමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට තේරී පත්වුණා.
කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය සඳහා ද ජන්ද විමසීමක් පැවැත්වීමට සිදු වූයේ ඒ සඳහා ද පූජ්‍ය ගොම්බද්දල දමිත ස්වාමීන්වහන්සේගේ සහ පූජ්‍ය කිතලගම හේමසාර ස්වාමීන්වහන්ගේ යන ස්වාමීන්වහන්සේලා දෙනමගේ නම් සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් වූ බැවින්.
එහි දී ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් ජන්ද විසි අටක් ලබා ගනිමින් පූජ්‍ය ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට තේරී පත්වුණා.
එසේ ම ඊට අමතර ව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනු මණ්ඩල වන ආගමික අනු මණ්ඩලය, දහම් පාසල් අනු මණ්ඩලය, සමාජ සේවා අනු මණ්ඩලය, ශාසනාරක්ෂක කටයුතු පිළිබඳ අනු මණ්ඩලය, මූල්‍ය අනු මණ්ඩලය සඳහා ද ස්වාමීන් වහන්සේලා ඇතුළු ගිහි නිල මණ්ඩල ද විධායක සභිකවරු සිව් දෙනෙක් ද තෝරා ගනු ලැබුවා.
කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ලයේ නිලවරණය සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා, දිස්ත්‍රික්කයේ සියළු ම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරියන්, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී මහත්මිය සහ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වුණා.
නිලවරණයේ කටයුතු මෙහෙයවීම සිදු කෙරුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පූජ්‍ය කිරින්දේ පේමසිරි ස්වාමීන්වහන්සේ විසින්.



























