A6  කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (20) දින පැවැත්වුණි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය 84.5% වන බව අනාවරණය වූ අතර ඉතුරු වගා නොකළ කුඹුරු ඉඩම් වගා කටයුතු සඳහා යොමුකිරිම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

යල කන්නයේ වී වගාවට යොමුව ඇති ගොවි ජනතාව වෙත ප්‍රමාදයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය නිර්දේශය හා පොහොර අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීමත් එම කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමේ වැදගත්කමත් දිස්ත්‍රික් ලේකම් කේ.ජි. විජේසිරි මහතා පෙන්වා දුනි. එසේම පොහොර වල ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා වැඩි පොහොර නියැදි ප්‍රමාණයක් ලබා ගැනීම සිදුකරන ලෙස සහකාර අධ්‍යක්ෂ (පොහොර) වෙත උපදෙස් ලබාදුනි.

මෙම වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව කමිටුවේ වැඩි අවධානයක් යොමුවිය.

එහිදී අපනයනය කේන්ද්‍ර කරගත් දේශීය අල බෝග වගාව හා අගය එකතු කළ දේශීය අල ආශ්‍රිත නිෂ්පාදන වැඩසටහන, ආරක්ෂිත ගෘහ (Polytunnel) තුළ අපනයනය සදහා එළවළු වගා කිරීම, කොළඹ දිස්ත්‍රික්කයේ බිම්මල් වගා ප්‍රවර්ධන වැඩසටහන, සෝජාන් ක්‍රමය යටතේ පුරන් කුඹුරුවල කෘෂි බෝග ව්‍යාප්ත කිරීමේ වැඩසටහන, E-agriculture කෘෂිකාර්මික වෘත්තිකයින් හා ගොවින් සඳහා ඩිජිටල් සාක්ෂරතාවය යන වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 22.5 වැය කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

A1  A3  A4  

 

A5   A6